සලු පිලි උනා දැමූ විට……………හෙවත් විදුලි බල්බයේ කුමන්ත්රණය

Posted: February 13, 2013 in දේශපාලන

11-light-bulb-man

Story No1

මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති ‘ප්‍රින්ටරයෙන්’ ලිපියක පිටපතක් මුද්ද්‍රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”…..  මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදී වරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්.  ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ආයතනයට අලුත්වැඩියා කරගන්න හිතාගෙන. ඒත් ඔහුට ලැබෙන්නේ සෑහීමකට පත්විය හැකි පිලිතුරක් නොවෙයි. ඉතිං ඔහු වෙනත් පරිඝනක දෘඩාංඟ විකුනන ස්තාන කීපයකටම සිය ප්‍රින්ටරය අරන් යනව රෙපෙයාර් කරගන්න හිතාගෙන.  ඒත් හැමතැනින්ම ලැබෙන්නෙ එක සමාන විසඳුමක්.  අලුත්වැඩියා කරන්න බැහැ,පාර්ට්ස් නැහැ, වියදම වැඩියි, වැනි නොයෙකුත් හේතු සමග යෝජනා වෙන අවසන් විසදුම අලුත් ප්‍රින්ටරයක් ගන්න කියන එකයි. ලෝකයේ බොහෝ දෙනෙක් කරන විදිහට අලුත් ප්‍රින්ටරය ගන්නවා වෙනුවට, මාර්කෝස් වෙනස් විදිහකට ක්‍රියාකරනවා. මෙය තමන්ටම අලුත්වැඩියා කරගත හැකිදැයි ඔහු අන්තර්ජාලය හරහා කරුනු සොයන්න ගන්නවා. එහෙත් අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ඔහුව පුදුමයටත් කෝපයටත් පත්කරනවා. …….සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) යන වචනය මීට පෙර ඔබ අසා නැත්නම්, නිසැකවම මේ ලිපිය කියවීමෙන් පසු ඔබත් මාර්කෝස් මෙන්ම පුදුමයටත්, කෝපයටත් පත්වෙනවා නොඅනුමානය…..ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ ‘ප්‍රින්ටරයේ’ දෘඩාංඟ දෝශයක් නොව, ප්‍රින්ටරයේ නිශ්පාදිත සමාගම විසින් පූර්ව නිශ්චය කල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කල පසු ප්‍රින්ටරය තුල ස්තානගත කල ‘ස්මාර්ට් චිපයක්’ මගින් එය ඉබේ ක්‍රියාවිරහිත කිරීමට සලස්වීමය. සිය ප්‍රින්ටරයේ සැබෑ දෝශය පසුපස ඇති දුශ්ඨ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳව පමනක් නොව වාසනාවට මේ දුශ්ඨත්වට එරෙහි සමාජ ව්‍යාපාර හා පුද්ගල සටන්ද ඇති බව අන්තර්ජාලය ඔහුට පසක් කර දෙනවා. මෙවැනි එක් රුසියානු ජාතිකයෙක් සිය වෙබ් අඩවියේ හුදු ලාබය තකා පරිඝනක උපාංඟ නිශ්පාදනය කරන සමාගම් වල නින්දිත සූරාකෑම හෙලිදරව් කරනවාට අමතරව ප්‍රින්ටර් වල මුද්‍රන පිටපත් සංඛ්‍යා ගණනය නැවත ප්‍රත්‍යාරම්බ (Reset) කිරීමට හැකි මෘදුකාංඟයක් නිර්මානය කර නොමිලේ ලබාදීමද කරනවා. මේ මෘදුකාංගය සමගින් කිසිදු අලුත්වැඩියාවකින් තොරව සිය ප්‍රින්ටරය නැවත් පනගන්වන්නට මාර්කෝස්ට හැකි වෙනවා.

ඉහත කතාව කෑගසා පවසන්නේ  මේ මොහොතේ අපේ ලෝකය වේගයෙන් අගාධයට ඇදගෙන යන නියො ලිබරල් අර්ථ ක්‍රමයේ සලු පිලි උනා දැමූ විට පෙනෙන විසකුරු භාවය මිස වෙනකක් නොවේ. ඔබේ ලැප්ටොප් පරිඝනකය සැමවිටම වසර තුනහමාරකින් අක්‍රීය වන්නේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් තිබුනානම් නැත්නම් ඔබේ ජන්ගම දුරකතනය අවුරුදු දෙකක් යන්නට පෙර මාරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබුනානම් දැන් ඔබට උත්තරය  ලැබී ඇත. අපේ සීයා 1970දී ගත් විදුලි පංකාවක් අවුරුදු 40කට පසුව තවමත් හොඳින් ක්‍රියාකරන නමුත් පසුගිය වසර විස්ස, විසිපහ තුල කුනු ගොඩට ගිය විදුලි පංකා ප්‍රමාණය මට පසක් කරන්නේ වෙනකක් නොව සැලසුම්ගත යල්පැනීමය. ඔබ බොහෝ දෙනෙකුටද එවැනි කථාවල් ඇතුවාට සැක නැත. මේ කථා සියල්ලේ සමාරම්භක කථාව හෙවත් ‘විදුලි බල්බයේ කුමන්ත්‍රණය’ සමස්ථ කථා වස්තුවේම ඉතා පැහැදිලි පිලිඹිබුවක් හෙයින් සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) ගැන කිය්ද්දී එය නොකියාම බැරිය. ඉතිං අපි ඒ කතාවට යමු.

Story No 2

මේ කතාවේ එන එකෝමත් එක රට ස්පාඥ්ඥය නොව ඇමරිකාවය. ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ නගරයක් වන ලිවර්මොර්(Livermore)හි ගිනි නිවන බටයන්ගේ ගොඩනැගිල්ලක් තුල විශේෂ ආරක්ෂාවක් සහිතව පැය 24 මුලුල්ලේ විමර්ශන කැමරාවක් මගින් ආවරනය වන විදුලි බල්බයක් දැල් වෙමින් තිබේ. මෙහි විශේෂත්වයනම් ඉහත බල්බය වසර 1901 සිට අවුරුදු 110යකට වැඩි කාලයක් තවමත් හොඳින් දැල් වීමය. විදුලි බල්බයකට උපන්දින සාදයක් මේ ලෝකයේ පවත්වා ඇත්නම් ඒ වාසනාව හිමිවූයේ 2001දී ඉහත බල්බය සිය සියවන උපන්දිනය සැමරූ අවස්තාවේය. දහසකට ආසන්න නගර වැසියන් මෙම උපන්දින සාදයට සහබාගී වී ඇත. තොමස් එඩිසන් විසින් විදුලි බල්බය ලොවට දායාද කර වසර කීපයකට පසුව 1895හේ පමන මේ බල්බය ෂෙලිස් නැමැත්තෙකු විසින් නිර්මානය කර ඇත. එනම් විදුලි බල්බය බිහිවූ ආරම්බක කාලයේ පටන්ම දීර්ග කාලයක් දැල් විය හැකි බල්බ නිපදවීමේ තාක්ශනය ලොව සතුවී තිබුනු බවය. කොටින්ම තොමස් එඩිසන් 1881 නිර්මානය කල මුල්ම වානිජ්‍ය බල්බ පවා පැය 1500 කට වැඩි කාලයක් දැල්විය හැකිවී ඇත. ……………..නිකමට කල්පනා කර බලන්න ඔබේ ජීවිත කාලය තුල බල්බ කොතරම් ප්‍රමානයක් ඔබේ නිවසේ කුනු ගොඩට යන්නට ඇතිද කියා. ඒ සමගම විනාශ වූ ටංග්ස්ටන්, සිලිකා, ලෝහ, බලශක්ති ප්‍රබව ඇතුලු ස්වබාවික සම්පත් ප්‍රමාණය කොතරම්ද කියා….. අපේ කතාවේ බල්බය වැනි බල්බ අපට තිබුනානම් තත්වය කොහොමද?…………

එසේ නම් මේසේ සිදුවූයේ කෙසේද?…… කථාවේ ඉතුරු කොටස නැත්නම් හොඳම කොටස, එයය.

1920ගනන් වල ලොව පුරා බල්බ් නිශ්පාදකයන්ගේ අරමුන වූයේ වැඩි කාලයක් දැල්වෙන බල්බ තැනීමය. සිය නිශ්පාදන වල අනර්ගත්වය කියැවෙන එකල වෙළඳ දැන්වීම් දුටුවහොත් මෙය හොඳින් වටහා ගත හැක. එකල පැය 2500ක් පමන දැල්වෙන බල්බ වෙලඳ පොලේ බහුලව තිබින. නමුත් මේ දීර්ඝායුෂ බල්බ නිශ්පාදනයට දීර්ඝායුෂ තිබුනේ නැත. අද අප මේ මොහොතේ අත් විදින සැලසුම්ගත යල්පැනීමේ විසකුරු සූරා කෑමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ලොව බල්බ නිශ්පාදනය කරන ඕලන්දයේ Philips”, ජර්මනියේ ‘Osram’ ඇතුලු ප්‍රමුක සමාගම් එක්වී 1924 නිර්මානය කරගන්නා ෆීබස් (Pheobus) නම් වෙළඳ කාටලය බිහිවීමත් සමගය. මෙම කාටලයට ඇමරිකාවේ, යුරෝපයේ මතු නොව, ජපානයේ මෙන්ම එවකට අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත් බවට පත්ව තිබූ බොහෝ ආසියානු ,අප්‍රිකානු රටවල සමාගම්ද අයත් විය. මොවුන්ගේ අරමුන වූයේ විදුලි බල්බයේ ගුනාත්මක භාවය අඩුකොට දැල්වීම පැය 1000කට වඩා අඩු කිරීමය. ඒ හරහා වැඩි බල්බ ප්‍රමානයක් විකුනා වැඩියෙන් ලාබ ලබා ගැනීමය. වසර කීපයක් තුල සිය දුශ්ට අරමුනු ඉටුකර ගන්නට මේ වෙළද කාටලය සමත් වෙයි. පසු කාලීනව මේ කාටලයට සම්බන්ඳ ලේඛන හදාරන ජර්මන් සමාජ විද්යාඥයෙකු වන හෙල්මුට් හෝග් (Helmut Hoge) විසින් ඉතා රහසි ගතව සිදුකල මේ ජඩ ක්‍රියාවලිය හෙලිදරව් කරනු ලබයි.

එතැන් පටන්, මේ ලෝකය එහි පරිසරය, සතා සීපාවා මතුනොව මිනිසුන්ද ආර්ථික ලාභය වෙනුවෙන් විනාශ කරමින්යන පවතින සිස්ටම් එකේ අනිවාර්‍ය අංගයක් බවට සැලසුම්ගත යල්පැනීම පත්විය. මුල් අවධියේදී සැලසුම් ඉන්ජිනේරුවන් සිය දැනුම හා කුසලතා තත්වයෙන් බාල භාන්ඩ නිශ්පාදනය උදෙසා පාවිච්චි කිරීමට යම් ප්‍රතිවිරෝධයක් දැක්වූවද ඔවුන් අභිබවා සමාගම් මුදලාලිලාගේ මුදල් අවසානයේ ජය ලැබීය. අද දවසේ ඉන්ජිනේරුවන්ට නම් භාන්ඩ සැලසුම් කල හැක්කේ සිය සේවාදායක සමාගමේ ලාභය උපරිම කලහැකි ව්‍යාපාරික උපායමාර්ගයන්ට යටත්වය. ඉහත කථා ද්විත්වයේ සඳහන්වූ Planned Obsolescence / Built-in-Obsolescence අමතරව මෙහිම තවත් මානයක් ලෙස Perceived Obselescence පවතියි. මෙහිදී සිදුවන්නේ භාන්ඩය සියයට සීයක් හොඳින් ක්‍රියාත්මක වුවද, මෝස්තරයෙන්,නවීනත්වයෙන් හෝ පිටත පෙනුමෙන් යල් පැන තිබීමය. ඇඳුම් පැලඳුම් විලාසිතා,ජංගම දුරකතන, මෝටර් රථ දීර්ඝ ලැයිස්තුවකට අයත් උදාහරණ කීපයකි. ක්‍රියාකාරීත්වයේ සුලු වෙනසක් හෝ බොහෝවිට පිටත පෙනුමේ වෙනසක් පමනක් හරහා පැරනි භාන්ඩ වීසිකර අලුත් මොඩල් එක මිලදී ගැනීමට බල කෙරෙන පෙලඹවීමයි. මෙය තනිකරම වෙළඳ දැන්වීම් හා මාධ්‍ය හරහා පාරිබෝගිකයන්ගේ මොල තුල නිර්මානය කරන දෙයකි. Credit Card , ලීසිං, කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම වැනි ණය කන්දරාවන් තමංට මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් ගැනීමට ඇති පෙලඹවීම තීව්‍ර කරයි. මෙසේ නිකරුනේ කුනුගොඩට යන භාණ්ඩ යනු අති දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමානයක් විනාශ කිරීමට ලැබෙන සහතිකයයි.

Pirates of the…………….Next Generation

අනාගත පරම්පරා ගනනාවක් වෙනුවෙන් ඇති ස්වභාවික සම්පත්, අතීතයේ වසර මිලියන ගනනක් පුරා නිර්මානයවූ ස්වභාවික සම්පත්, වර්තමානයේදී නිමේශයක් තුල කාබාසිනියා කරමින් ලාභයම පමනක් සොයන ලෝකයක් තුල අපි මංමුලාවූවන්සේ ඉබාගතේ දුවමින් සිටිමු. අතිශය සීමිත සම්පත් ප්‍රමානයක් අතැතිව මේ ක්‍රියාවලිය තව කොතරම් කාලයකටදැයි ඇසිය යුතු කාලය එළබ ඇත.  තව දුරටත් මේ නියෝ ලිබරල් ධනවාදය තුල මිනිසාට හෝ පෘතිවියට අනාගතයක් නැත. අධික වේගයෙන් අප ගමන් කරමින් සිටින්නේ අනිවාර්ය ව්‍යසනයක් කරාය. වටිනා ගහකොලද, සතා සීපාවාද පොසිල ඉන්දනද ඇතුලුව බොහෝ සම්පත් දැනටමත් අපට අහිමි වී ඇත, නො එසේනම් නුදුරේදීම අහිමිවීමට නියත විවරන ලබා ඇත. ලෝකයේ බොහෝ මත්ස්‍ය බිම් මෙසේ සූරාකා විනාශ කර ඇත, අද ඒවා මාලු නැති මුහුදු බවට පත්වී ඇත. ඇමරිකාව ප්‍රමුක බටහිර විසින් මෙසේ විනාශ කර දැමූ එක් කුප්‍රකට මත්ස්‍ය බිමක් නම් සෝමාලියාව අවට මුහුදු ප්‍රදේශයයි. අතීත සෝමාලියානු ධීවර ප්‍රජාව, අද මුහුදු කොල්ලකරුවන් වීමේ ප්‍රමුක හේතුව එයයි. අප, ඔවුන් මේ තත්වයට ඇද දැමූ ආර්තික මොඩලය වැළඳ ගනිමින් කොල්ලකරුවන්ට පයින් ගසමින් සිටිමු, එහෙත් ඛේදවාචකයනම් අපේ දරුමුනුපුරන්ගේ ඉරනමද ඔවැනිම වනු ඇති බවය.

Day light robbers

සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී. Apple i-Pod එක වෙළඳ පොලට ආ අවදියේ එහි බැටරිය නිර්මානය කර තිබුනේ වසරකට ආසන්න කාලයකදී අක්‍රීයවීමටය, එහෙත් එවිට බැටරිය ප්‍රතිශ්ඨාපනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ඔවුන් සතුව නොවීය, ඒ වෙනුවට ඇපල් සමාගමේ උත්තරය වූයේ, බැටරියේ දෝශයට මුලු උපාංගයම විසි කර අලුත් එකක් ගන්නා ලෙසය. ඒ වනවිට ඇමරිකාවේ පමනක් i-Pod මිලියන 3ක් විකුනා තිබුනි. බොහෝ දෙනෙක් එසේ කලද, මෙයට විරුද්ද වූවන් ,සමාජ ක්‍රියාකාරීන්ද සමග එක්වී, අධිකරනයට යාමත් සමග පාදයක් පසුපසට තියන්නට ඇපල් සමාගමට සිදුවිය. ඒ අනුව උපාංගය වීසිකරනවා වෙනුවට බැටරිය මාරුකිරීමෙන් පමනක් නැවත යතා තත්වට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට සමාගම එකඟ විය. එහෙත් අදටද විවිද මුහුනුවරේ සැලසුම්ගත යල්පනීම සිය නිශ්පාදන තුල කිසිදු හිරිකිතයක් නැතුව ලාභය වෙනුවෙන් පාවිච්චි කරන සමාගම් අතර ‘චැම්පියන්ලා’ ඇපල් විය යුතුය. සෑම විටම ලියාපදිංචි නොකල (Unregistered)මෝටර් රථයක් පැදවීම වැනි බොළඳ ආශාව තෘප්ත කර ගැනීමට, සෑම 6 මසකට වරක් තමන් පාවිච්චි කල බෙන්ස් කාර් එක ඉවත්කර අලුත් බෙන්ස් රථයක් ගත් ස්ටීව් ජොබ්ස් වැන්නෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වීමද එක අතකට විහිලුවකි. (ඔහු ජීවත් වූ ප්‍රාන්තයේ ලියාපදිංචි නොකර මෝටර් රථයක් මාස 6ක් භාවිතා කල හැකිය.) ස්ට්ව් ජොබ්ස් පඩි ගත්තේ ඩොලර් 1 (අනේ පවු කුක්කු පැටියා) වැනි ගොං පාට් ලියන රට තක්කඩියන් නොලියන ඇත්ත මේවාය.

Quietly flows the Odaw……………or is it?

මේ ඉවක් බවක් නැති නිශ්පාදනයේ අනික් අනිවාර්‍ය අංගය පරිසර විනාශයයි. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට සුදුසු වතුර ටික මේ මොහොතේද දුර්ලභ වස්තූන් වී හමාරය. ඉහල යන ගෝලීය උනුසුමද, එකක් පසුපස තවෙකක් ලෙස එන ස්වාභාවික විපත්ද, පරිසර විනාසයේ සුලබ ප්‍රතිවිපාකය. තුන්වන ලෝකයේ රටවල ගොඩ ගසන බටහිර රටවලින් වීසිකරන, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා පරිඝනක අබලි කඳුද තවත් විපාකයකි. අප්‍රිකානු දුප්පත් රාජ්‍යයක් වන ඝානාවේ ඇග්බොලොශි හි ඔඩාව් (Odaw) නදිය හා ඒ අවට තැනිතලා පිටිය හඬගා කියා සිටින්නේ මේ විශම ආර්තික මොඩලයේ දුෂ්ටත්වයයි. මීට දශක දෙකකට පමන පෙර ඉතා සුන්දර නදී තෙරක් අසබඩ වූ සුපිරිසිදු මනරම් පරිසර පද්දතිය අද අබලි පරිඝනක හා උපාංග, ‘T.V’, රේඩියො උපාංග ගොඩ ගැසූ දැවැන්ත කුනු ගොඩකි,ජලය එකතැන රැඳී පල්වූ ලෙඩ රෝග පතුරන දුඟද හමන පල් වලකි, තැන ,තැන ලෝහ ලබා ගැනීමට මේ අබලි වලට ගිනි තැබීමෙන් නිකුත් වන විශ දුම් අහසට නැගෙන මර උගුලකි. එදා ඔඩාව් නදිය අසල සුන්දර පරිසරයක පාපන්දු ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් දුව පැන්න සතුටින් පිරි මුහුනු සහිත දරුවන්ගේ දරුවන් අද දුප්පත් කමින් මිරිකෙමින් කේඩෑරිවී ගිය මුහුනු සහිතව වැරහැලි ඇඳගෙන මේ කුනු කන්ඳ මත යකඩ ඇතුලු වෙනත් ලෝහ සොයමින් යන කුනු බුදින්නන් වී ඇති සැටි මේ නියො ලිබරල් දහදුරාව ලෝකය ඇදගෙන යන දිශානතිය, එහි පාරිසරික ඵලවිපාක මතු නොව මානව ඛේදවාචකය පිලිබඳ කදීම එහෙත් අතිශය දුක්බර රූපසටහනකි.

අද අප දෑස් නිලංකාරව බලා සිටින මේ සුරංගනා මායාවට එපිටින් ඇති සත්‍ය තෙරුම් ගැනීම තව දුරටත් පමා කලනොහැකි වී ඇත.  එබැවින් අපට අසන, දකින, කියවන දෑ සියල්ල දෙස විවෘත මනසින් බැලීමට,විචාරාක්ශියෙන් බැලීමට හා විශ්ෂයෙන් මොලය පාවිච්චි කිරීමට බල කෙරී ඇත. මීට සති කීපයකට පෙර සිංහල බ්ලොග් එකක (නම මට හරියටම මතක නැත ), නිමල්,සුනිල් කමල් වැනි සුලබ නාමයන් හා මාතලං, බුවා වැනි බ්ලොග් නාමයන්ද, ඈදා ගෙන ‘ඉස්සන් වලක’ සරල උදාහරණයකින් සියලු ප්‍රශ්න වලට නියො ලිබරල් ධනවාදයේ උත්තර ඇතැයි සුරංගනා කතාවක් තිබුනා දුටුවෙමි. එහෙත් පැහැදිලි සත්‍ය නම් මේ සිස්ටම් එක එකක් ,පසුපස තවෙකක් ලෙස උත්තර නැති දැවැන්ත ප්‍රශ්න කන්දරාවක් නිර්මානය කරමින් යන බවය.  මේ මාලු වලේ මාලු බාන කුසල්හාමිලාගේ සුදු පිරුවට සලු පිලි උනා දැමූ විට හමුවන්නේ එක්කෝ, අරුනි ශපීරො ජාතියේ කුලියට ගජබින්නාලංකාරය ලියන රට තක්කඩියෙකි, නැත්නම් ඒ/ලෙවල් ඉකොනොමික්ස් වලින් රටේ ආර්තිකය විග්‍රහ කරන බන්දුල ‘ධන-රිණ’ ගුනවර්ධන පන්නයේ රට හරකෙකි. මේ කුමක් වුවද කියවන්නා සිහි බුද්දියෙන් කියවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇත්තේ තව දුරටත් මංමුලාවී සිටීම යනු අපේ මිනී වල අපිම කපා ගැනීමම වන බැවිනි.

End of the Story

‘සැලසුම්ගත යල්පැනීම’ ආශ්‍රිත අපේ අද කතාව අවසන් කිරීමට විදුලි බල්බය තරම් යෝග්‍ය වෙනකක් නැත. බාල විදුලි පහන් නිපදවීම ඇරඹූ කාලයේ සිටම දීර්ගායුශ බල්බ සදහා සැලසුම් බොහෝ ප්‍රමානයක් එලිදැක් වුවද ඒවා වානිජ්‍ය නිශ්පාදනය තුලට කිසිවිට වැද්ද ගත්තේ නැත. යලි එවන්නකට උදාහරන හමුවන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ නැගෙනහිර යුරෝපානු ‘සමාජවාදී’ කදවුර තුල කාර්මික අතින් වඩත්  ඉදිරියෙන්ම සිටි නැගෙනහිර ජර්මනියෙනි.  බටහිර ලාභය පදනම්වූ ආර්තික මොඩලයට එරෙහිව නැගෙනහිර රාජ්‍ය-ඒකාදිකාරී, එක අතකට අකාර්යක්ශම , මධ්‍යගත ආර්තිකයක් අඩසිය වසකට ආසන්න කාලයක් විශාල කාර්මීකරනයක් සහිතව වර්දනය විය. නැගෙනහිර ජර්මනියේ කම්හලක දීර්ඝායුෂ විදුලි බුබුලු නිපදවූ අතර, 80′ ගනන්වල වරක් ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශනයකට ඉදිරි පත් කර තිබුනේ, බටහිර වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සහයක් ලෙසය. බටහිර රාජ්‍යයන් එකකවත් ඉහත බල්බ නිපද්වීමට හවුල්කාර සමාගමක් සොයා ගැනීමට නොහැකිවූ අතර, එවායේ සේවකයන්ගේ මතය වූයේ දීර්ගායුශ බල්බ නිපදවූවොත් වෙළදාම අඩුවී  තමන්ගේ රැකියා අහිමි වන බවය. එහෙත් ජර්මන් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ මතය වූයේ “දීර්ගායුශ බල්බ නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් දිගු කලක් ආරක්ශාවන නිසා සිය රැකියා දීර්ගකාලයකට සුරක්ශිත වන” බවයි. 89යේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මනියද බටහිර ආර්තික මොඩලය වැලඳගැනීමත් සමග ඉහත බල්බයද අභාවයට ගිය අතර දැන් ඒවා දකින්නට ඇත්තේ කෞතුකාගාරවල ප්‍රදර්ශන භන්ඩයක් ලෙස පමණි.

නැගෙන්හිර ජර්මනියේ හෝ පැරණි සොවියට් රුසියාවේ හෝ පැවති යල්පැන්න සමාජාර්තික මොඩලය අදට නොගැලපුනද එම ප්‍රකාශයේ හරය ගත්විට අප කලයුත්තේ අපේ පමනක් නොව අපේ දරු මුනුබුරන්ගේ රැකියාද සමස්තයක් ලෙස මානව සංහතියේ පැවැත්මද ආරක්ශා කලහැකි වඩාත් ධරණීය ආර්තික මොඩලයක, සුසමාදර්ශ වෙනසක අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සටන් වැදීමට නොපමාව නැගී සිටීමයි. විදුලි බල්බ කුමන්ත්‍රනයේ ප්‍රභල භූමිකාවක් රඟපෑ Philips අධිරාජ්‍යයේ වත්මන් පුරුකක් වන වොරන් ෆිලිප්ස් වසර 25ක් දැල් විය හැකි බල්බ නිශ්පාදනය කරමින් සිය දායකත්වය ලබාදෙමින් සිටියි. මෙසේ ලොව පුරා බොහෝ දැනුවත් මිනිසුන්, ගැහැනුන් තනි තනිව මෙන්ම, කුඩා කන්ඩායම් ලෙසද විවිද මානයන්ගෙන් මේ සටන දැනටමත් ආරම්බ කර ඇත. මිනිසත් බවේ නාමයෙන් එක්ව අත්වැල් බැඳගෙන පොදුසටනක් බවට පත් කිරීම හෙට දවසේ යහපත් ලොවක් ප්‍රර්තනා කරන සියල්ලන්ගේ අද දවසේ වගකීම, යුතුකම බව අවිවාදිතය.

Advertisements
Comments
  1. පාරිභෝගික අපිට අවාසියක් වුනාට.සදාකාලේටම පාවිච්චි කරන්න පුළුවන් බදු හැදුවා නම් ආර්ථිකෙට බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.ඒ වගේම ඒ නිෂ්පාදන ආයතන සේවකයනට රැකියා අඩුවීමක් නිසා විරැකියාව වැඩි වෙන්නත් පුළුවන්.

    • kashyapa says:

      ඕක තමයි නිශාන් මේ සිස්ටම් එක පවත්වා ගෙන යන අය මතුරන මන්තරේ…..මේක දුවන්නේ ‘growth ‘ එක මත, පුලුවන් තරම් පරිබෝජනය කරපං, කාබාසිනියා කරපං එතකොට තමයි 1% කට්ටියගෙ කරල පැහෙන්නේ…..පෘතිවියේ සම්පත් සීමිතයි කියන එක ‘undenaiable’ ඉතිං මේ යන විදිහට වැඩිකල් දුවන්න බෑ කියන එකත් ඒ හින්දා අනිවාර්යයි, ඔයාගෙ තර්කෙ හරියන්නෙ මේ සිස්ටම් එක තියාගෙන ගියොත්. නමුත් මේකට ප්‍රශ්නවලට පිලිතුරු නෑ, පැලස්තර විසදුම් තාවකාලිකයි…….ඒහින්ඳා තමයි අපි කියන්නේ, මේක සම්පුර්නයෙන් විස්තාපනය කරන අලුත් මොඩල් එකක් ලෝකෙට අවශ්‍යයි කියල…’paradigm shift’එකක්, ‘shareholder welth’ එක ‘maximize’ කරනවා වෙනුවට , මනුශ්‍යත්වය මත පදනම් වෙච්ච, පරිසර හිතකාමී ධරණීය(sustainable) ආර්ථික මොඩල් එකක් වෙනුවෙන් සටං කරන්න වහාම එකතුවෙන්න ඔනේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s