ඔලිම්පික් වංශකථාවේ ගිනියම් අයෝමය සලකුන “Black Power Salute ” කලු ශක්තියේ ආචාරය

Posted: August 4, 2012 in දේශපාලන

විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය.  කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ෆෙල්ප්ස්ගේ පිහිනුම් රන් 8(2008 බීජින්), ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ගේ ලෝක වාර්තා තුනක් සමග රන් පදක්කම් 3(2008 බීජින්)වැනි සුමිහිරි මතකයන් බොහෝය. එසේම ලොවම කම්පා කල, ඊශ්‍රායල් ක්‍රීඩකයන්/නිලදාරීන් 11ක් මරුමුවට පත්වූ 1972 මියුනික් ප්‍රාණ ඇපකරු ඛේදවාචකය. ලොව පුරා පුවත් පිටු පිරවූ කැනඩාවේ බෙන් ජොන්සන්ට වේගවත්ම මිනිසා කිරුල අහිමි කල තහනම් උත්තේජක චෝදනාව(1988 සෝල්) වැනි ඔලිම්පික් කලු පැල්ලම්ද මේ මතක අතර වෙයි.

එහෙත් 1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට ටොමි ස්මිත් හා ජෝන් කාලෝස් විසින් දැක්වූ “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) ඔලිම්පික් වංශකතාව තුල මෙතෙක් ප්‍රක්ශේපනය කල අතිශය ප්‍රභලතම පිලිබිඹුව බව අවිවාදිතය.

පතුලටම යනතුරු වර්ගවාදයේ ගිලී සිටි ‘සුදු’ ඇමරිකාව සසල කල මේ සිදු වීම , සුදු බටහිර ආධිපත්‍යට නතුව තිබූ ඔලිම්පික් සංස්තාවේ පදනම්ද දෙදරවා හැරියේය. ටොමී එම ඔලිම්පික් උළලේ මීටර් 200 ලෝක වාර්ථාවක්ද තබමින් ජය ගත් අතර කාලොස් එම තරඟයේ ලෝකඩ පදක්කම් ලාභියා විය.Image

“මම සිටියේ ‘ලෝක වේදිකාව’ මත….මානව ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව ක්‍රියාවට නගමින්……මිනිස්සු ගෙව්වේ පසුගාමී ජීවිත…එක්සත් මතවාදයක අවශ්‍යතාව…ඔවුන් තේරුම් අරන් තිබ්බෙ නැහැ”  ටොමී ස්මිත් පසු කලෙක පැවසීය.

ඔහු සහ කාලෝස් සුප්‍රකට ඔලිම්පික් වේදිකාව මත සිට තේරුම්ගන්නට බල  කලේ අනෙකක් නොව ‘කලු ඇමරිකාවේ’ වේදනාවයි. බැලූ බැල්මට සරල අභිනයක් සේ දිස්වුනු ඔවුන්ගේ කැරලිකාරී ක්‍රියාව තුල, ඇත්තටම සංකීර්ණ සංඛේත ජාලයක් විය. ටොමීගේ ඉහලට එසවූ ‘කලු අත්වැස්ම’ සහිත දකුණු අත කලු ශක්තිය නිරූපණය කල අතර කාලෝස්ගේ කලු අත්වැස්ම සහිත ඉහලට එසවූ වම් අත කලු එක්සත්භාවය සංඛේතවත් කලේය. ටොමීගේ කලු කර පලදනාව කලු අභිමානයද,දෙදෙනාම පාවහන් රහිතව කලු මේස් පමනක් පැලඳ සිටීමෙන් කලු ඇමරිකාවේ දුප්පත් බවද සංඛේතවත් කලේය.

මේ තරඟයේ රිදී පදක්කම් ලාභියා වූ සුදු ජාතික ඕස්ට්‍රෙලියානුවෙකු වූ පීටර් නොර්මන්ද සිය කලු සඟයන් දෙදෙනාගේ ක්‍රියාවට සහෝදරාත්මක සහයෝගය දක්වමින් ‘මානව හිමිකම් සඳහා ඔලිම්පික් ව්‍යාපාරයේ’ (Olympic Project for Human Rights) ලාංචනයක්(Badge) සිය කමිසයේ පැළද සිටියේය. ටොමීගේ හා කාලෝස් ගේ අහිංසාවාදී කැරැල්ල ක්ශනික හෝ අහඹු සිදුවීමක් නුවූ අතර ‘මානව හිමිකම් සදහා ඔලිම්පික් ව්‍යාපාරය’ (OPHR) සමග ඔවුන්ගේ තිබුනු සම්බන්ඳය මෙන්ම කාලෝස් හා එකල ප්‍රකට ‘කලු’ ක්‍රියාධරයෙක් වූ හා  ඝාතනයට ලක්වූ මැල්කම් එක්ස් (Malcolm X)  අතර සිදුවූ හමුවීමද තීරනාත්මකව බලපෑවේය. එවකට තිබුනු ලෝක දේශපාලනික සංදර්භයද යම් උත්තෙජකයක් වූවා නිසැකය. කලු සටනේ පතාක යෝධයෙකු වූ මාටින් ලූතර් කිං ඝාතනය වී මාස 6ක්වත් ගත වී නොතිබින. අධිරාජ්‍යවාදීන් දන ගැස්සූ වියට්නාම් ගරිල්ලං එල්ල කල සුප්‍රකට ටෙට් ප්‍රහාරය(Tet Offensive) මෙන්ම ප්‍රංශ සිසු නැගිටීමද සිදු වූයේ මේ වකවානුවෙදීමය. ඔලිම්පික් පැවැති මෙක්සිකො නගරයේදීම නිරායුද සිසුන් සිය ගනනක් මරා දමා තවත් දහස් ගනනක් අත් අඩංඟුවට ගත් මිලේච්ඡ සිසු සන්හාරය (Tlatelolco Massacre)සිදුවී  ගතවී තිබුනේ හරියටම සති දෙකකි. Black Power Salute ලොව පුරා පුවත් සිරස්තල සැරසුවා පමනක් නොව පසුගිය සිය වසේ ප්‍රබලතම පෝස්ටර් ඡායාරූප 10 අතරටද එකතුවිය.

OPHR යනු අහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වූ අතර ක්‍රීඩාව තුල වූ වර්ගවාදය මානව හිමිකම් න්‍යාය පත්‍රය තුලට ගෙන ඒමේ මහගු කාර්යයක් එදා ඉටු කලේය. ටොමී හා කාලෝස් දෙදෙනාම OPHRහි උපන් බිම වූ සැන් ජොසේ විශ්ව විද්‍යාලයේ සිසුන් විය. කලු ක්‍රීඩකයන් මෙක්සිකෝ ඔලිම්පික් උලෙල වර්ජනය කල යුතුයි යන්න OPHRහි මුල් මතවාදය වුවද එය ක්‍රියාත්මක නොවීය.  එහෙත් එදා පදක්කම් වේදිකාව මත සිට, පසු බිමින් ඇමරිකන් ජාතික ගීය වැයෙද්දී, හිස් පහතට නමා දෑස් බිමට නැඹුරු කොට කලු අත්වැසුම් සහිත මිට මෙලවූ සිය අත් මෙක්සිකානු රාත්‍රී අහසට යොමු කර ඔවුන් සිදු කල නිහඬ කැරැල්ල සුදු අධිරාජ්‍යයේ අරටුව දක්වාම සසල කලේය. එසේම එය, ඇමරිකාණු පාලකයන්ගේ කුහක වර්ගවාදී ප්‍රතිපත්තීන් නිර්ධය ලෙස ලොවට හෙලිදරව් කිරීමට සමත් විය.

එතෙක් සුපිරි සුදු ඇමරිකන් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ කලු ක්‍රීඩකයන් විදේශයන්හිදී ලබා ගන්නා ජයග්‍රහන හා ගෙනෙන පදක්කම් පමනක් වූ අතර මව් බිමේදී ඔවුන් නිකම්ම නිකම් ‘වේගවත් කල්ලන්’ (Fast Niggers) පමනක්ම විය. OPHRහි ඔලිම්පික් වර්ජනය පිලිබඳ කතිකාව ගොඩ නැගෙන සමයේ ඔවුන්ගේ මන්ත්‍රය වී තිබුනේ ‘උපන් බිමේදී බඩ ගාන්නට මෙක්සිකොවේ දුවන්නේ කුමකටද’ (Why run in Mexico only to crawl at home) යන්නයි.

දිළිඳු අඳ ගොවියෙකුගේ පුතෙකු වූ ටොමී ස්මිත්ද එවැනිම දුප්පත් පසුබිමක් සහිතවූ ජෝන් කාලෝස්ද ළමා කාලයේ සිටම මේ උග්‍ර වර්ගවාදයෙන් ඇතිතරම් බැට කෑවේය.එබැවින් සිය කැරැල්ලට එරෙහිව සුදු ඇමරිකාවෙන් නැගෙන කෝපග්නියේ දිග පලල ගැන ඔවුන්ට වැටහීමක් තිබුනි.  එහෙත් ඔවුන්ට මුහුන දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තරමේ දුෂ්ඨ ප්‍රහාරයන්ටය.

එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති, ඇමරිකානුවෙක්වූ Avery Brundage විසින් ටොමී හා කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් එලවා දැමීමට නියෝග කලේය. ඔහුගේ නියෝගය කෙතරම් කැත කුහක ක්‍රියාවක්ද යන්න මනාව පැහැදිලි වන්නේ 1936 බර්ලින් ඔලිම්පික් උලෙලේ හිට්ලර්ගේ ‘නාසි ආචාරය’ (Nazi Salute) සඳහා ඇමරිකානු කන්ඬායමේ සහය ලබා දුන්නේ එවකට එක්සත් ජනපද ඔලිම්පික් කොමිසමේ සභාපති ලෙස මේ පුද්ගලයාම බැවින්ය. එසේම මෙක්සිකනු රජය පැය 48ක් තුල ඔවුන්ගේ වීසා අවලංඟු කොට රටින්ද පිටුවහල් කලේය.

ඔවුන් සිය රට පා තබන්නේ අප්‍රමාන ගැරහුම් පරිබව පමනක් නොව තමන්ව රැකියාවෙන්ද දොට්ට දමා ඇති බව දන්වන ආරංචියද සමගය. ඔවුන් කලු ජාතිකයන් අතර වීරයන් සේ ආදරයට ලක්වූයේ කෙතරම්ද ඊටත් වඩා වැඩියෙන් සුද්දන්ගේ වෛරයට බාජනය විය. ඉතිහාසයේ පළමු වරට තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 දිවූ මිනිසා වූ ටොමී ස්මිත්ට (ඔහුගේ නිසග හැකියාව මත ටොමී තත්පර 19 කඩ ඉමද බිදිනු ඇති බව එකල මතය වී තිබින )සිය දරුවාගේ බඩගිනි නිවීමට පාර අතුගාන්නට සිදු විය. ටොමීගේ මව අකාලයේ මිය ගිය අතර ඔවුන්ගේ පවුලට පැමිනි අතවර, ගැරහුම් ,තර්ජන ගර්ජන සිය මවගේ අකාල වියෝවට වගකිවයුතු බව ටොමී අදටද චෝදනා කරයි.  කාලොස්ටද අඩු නැතුව දුක් විදින්නට සිදු වූ අතර ඔහුගේ පවුල් ජීවිතය බිඳ දැමීමට ඇමරිකන් ෆෙඩරල් ඔත්තු සේවය (FBI) සෑහෙන් කාර්ය භාරයක් ඉටු කල බව කාලෝස් විශ්වාස කරයි. අවසානයේදී ඔහුගේ බිරිඳ සිය දිවි නසා ගන්නා අතර ටොමීගේ විවාහය දික් කසාදයකින් කෙලවර වෙයි. දෙදෙනාටම හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ අතර මරණය නිරන්තරවම ඔවුන් පසු පස හොල්මං කලේය.

එදා ඔලිම්පික් වේදිකාව මත මේ මිනිසුන් දෙදෙනා දැක්වූ නිර්බීතභාවය කලු සමාජය මත දැවැන්ත බලපෑමක් කලේය. එසේම පසු කාලීනව OPHR හි බොහෝ ඉල්ලීම් දිනා ගැනීම සඳහාද ඔවුන්ගේ ක්‍රියාව ප්‍රබල උත්ප්‍රේරකයක් විය.  කලු ඇමරිකානු නිදහස් සටන එදා මෙදා තුර බොහෝ ජයග්‍රහන අත් පත් කර ගනිමින් ඉදිරියට පැමින ඇත. එහෙත් සිහින සැබෑ වී නැත. ඔවුන්ගෙන් බහුතරයක් අන්ත දිලින්දන්ය, නූගතුන්ය. ආර්තිකය ගත්තද, අධ්‍යාපනය ගත්තද, සෞඛ්‍ය පහසුකම් ගත්තද, නිවාස හිමිකම් ගත්තද ඔවුන් තවමත් දෙවෙනි පංතියේ පුරවැසියන්ය. නීතිය ඉදිරියේද දෙවැනි පංතියේය.

මීට මාස කීපයකට පෙර සිදු වූ ‘ට්‍රෙවොන් මාටින්’ (Trayvon Martin) ඝාතනය කදිම උදාහරනයකි. කඩයට ගොස් රස කැවිලි රැගෙන ගෙදර යමින් සිටි වයස 17 කලු ජාතික දරුවා කිසිදු සාදාරණ හේතුවක් නැතිව අමු අමුවේ ඝාතනය කරන ජොර්ජ් සිමර්මන්ව පොලීසිය අඩු තරමේ අත් අඩංඟුවටවත් නොගනී.  ආත්මාරක්ශාවට වෙඩි තැබුවා යන ප්‍රකාශය මත චෝදනාවක්වත් නොනගා නිදහස් කරයි. කලු ජාතිකයන්ට සිය දරුවාගේ ඝාතකයාව අඩු තරමින් අත් අඩංඟුවට ගෙන චෝදනා ඉදිරිපත් කරවා ගැනීමට දවස් ගනන් පාරවල් වල උද්ඝෝශණ කරන්නට සිදු විය. මෙහි අනෙක් පැත්ත සිදු වූවානම් පොලීසියේ හා නීතිය ක්‍රියාවට නගන්නන්ගේ කාර්යක්ශමතාවය ඇදහිය නොහැකි තරම්ය.

ඉදින් මේ තවමත් නිමා නොවූ සටනේ ප්‍රභල මං සළකුනක් ලෙස ටොමී හා කාලෝස්ගේ ‘Black Power Salute’ කැරැල්ල සටහන් වන අතරම ඔලිම්පික් වංශකථාවේද කාලයේ වැලිතලාවට කිසිදින යට නොවන ලෙස සදාතනික වී ඇත.

 “ I still feel the old impulsus and compulsions…………….. To stand up and be heard ..no matter the cost no matter the price”   

                                                                                                                –            John Carlos  July 2012

                                                    Image

 

                                                

Advertisements
Comments
  1. නියම ලිපියක්… නොදන්නා තොරතුරු ගොඩක් දැනගත්තා.. ඒවගේම් දැනගැනීමට අව්ශ්‍යය සිද්ධි ගණනාවක් එකතු වුනා..

    ටෙට් ප්‍රහාරය(?? Tlatelolco Massacre??

    • kashyapa1917 says:

      Tet Offensiveඑක වියට්නාම් යුද්ධයේ තීරනාත්මක කඩඉමක්, Tlatelolco Massacre මෙක්සිකෝ සිසු රැස්වීමකට එවක පැවති ඒකාදිපති මර්දනීය ආණ්ඩුව එල්ල කල මිලේච්ඡ ප්‍රහාරයක්….ශිෂ්යයො හමුදාවට වෙඩි තිබ්බා ඒනිසා හමුදාවත් වෙඩි තිබ්බා කියල තමයි මේ සංහාරය සාදාරනීකරනය කලේ…ඒත් අවුරුදු ගනනාවකට පස්සෙ හෙලි උනා..මෙ රැස්වීම තිබ්බ චතුරශ්‍රයේ බිල්ඩින් උඩ ආන්ඩුවෙ ‘ස්නයිපර්ස්’ල යොදවල තමන්ගෙම හමුදාවට වෙඩි තියවල තියෙනව ශිෂ්‍යයො වෙඩිතිබ්බ කියල බොරුවට පෙන්නන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s