Archive for August, 2012

ආම්ස්ට්‍රෝන්ග්ලාට අපලවූ සතියක් නිමා වූයේ සඳ මත පාතැබූ පලමු මිනිසා වීමේ භාග්‍ය ලද නීල් ආමිස්ට්‍රෝන්ග්ගේ නික්මයාම සටහන් කරමිනි. ඉතා නිහතමානී චරිතයක් ලෙස හැඳිවෙන නීල්, ලොවින් සමු ගත්තේ කිසිදින කිසිවෙකුට සමකල නොහැකි අනගිබවනීය සටහනක් තබාය. හරියටම කියනවානම් පිය සටහනක් සඳමත තබාය. ඔහුගේ වියොව වෙනුවෙන් පවුලේ උදවිය නිකුත් කල ප්‍රකාශයේ ‘මිනික්බිති පැහැදිලි රාත්‍රී අහසක සඳ ඔබ හා සිනාසෙන විට  නීල්ට ඇසක් ගැසීමට අමතක නොකරන ලෙස’ ඉල්ලා තිබිනි.(Next time you walk outside on a clear night and see the moon smiling down at you think of Neil Armstrong and give him a wink)  මමද ඔබෙන් එසේම ඉල්ලමි.

Hero to Zero

ලෝ ප්‍රකට අනික් ආම්ස්ට්‍රොන්ග් වන්නේ ලාන්ස්ය. පාපැදි ලෝකයේ සුපිරි තාරකාව වූ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්ගේ වර්ණවත් ක්‍රීඩා දිවිය කලු පැල්ලමකින් අවසන් වූයේද පසුගිය සතියේය.  පාපැදි ලොවේ කිරුලු පලන් රජු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට වසර කිහිපයක සිට එල්ලවෙන තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවන්ට එරෙහිව ඔහු කරමින් සිටි නීතිමය සටන අත්හරින බව ලාන්ස් පසුගියදා නිවේදනය කලේය. ඒ අනුව ඔහු ඇමරිකානු ‘ඇන්ටි ඩෝපින්’ ඒජන්සිය (USADA) ගෙනෙන චෝදනාවන්ට එරෙහිව කරුනු නොදැක්වීමට තීරණය කර ඇති අතර එබැවින් USADAය පරීක්ශණයකින් තොරවම ඔහු වැරදිකරු කරණු ඇත. මෙය හුදෙක් ආම්ස්ට්‍රොන්ග් යන තනි පුද්ගලයාගේ ප්‍රශ්ණයක් නොව, සමස්ත ක්‍රීඩා ලෝකයම වෙලාගනිමින් ඇති ඛේදවාචකයක ජීවමාන පිලිබිඹුවන්ය. මේ ඛේදවාචකය අනෙකක් නොව, සියලු ගුන යහපත්කම් පිරිහෙමින් යන යුගයක ක්‍රීඩාවේ වටිනාකම්ද මුදලට යට වීමේ ප්‍රතිඵලයන්ය. කුණු වෙමින් යන සමාජය වෙනුවට, සැබෑවටම යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනා ගැහැනුන්ගේ, මිනිසුන්ගේ සංවාදයට මේ මාතෘකාවද අනිවාර්ය විය යුතුය. මක්නිසාද යත් අද දවසේ දරුවන් සිය ක්‍රීඩා වීරයන් දෙස බලා ඉගෙනගන්නේ ක්‍රීඩාශීලිත්වයද නැත්නම් කෙක්කෙන් හෝ කොක්කෙන් සල්ලි මල්ලක් ඩැහැගැනීමද යන්න හෙට දවසේ ලෝකය යහපත් තැනක්ද නැද්ද යන්න තීරනය කරනු ඇති බැවිනි.

ශරීරය පුරා විහිදුනු පිලිකාවක් පරාජය කර ජීවිතය ජය ගන්නා ‘ලාන්ස්’ ඉන්පසු ‘ටුවර් ඩි ෆ්‍රාන්ස්’ (Tour de France )පාපැදි ශූරතාවය පිට පිට හත් වරක් ජයග්‍රහනය කරයි (1999-2005). ලොව ක්‍රීඩා අතරින් මිනිස් ශාරීරික හා මානසික ශක්තීන් අන්තයටම උරගා බැලෙන අතිශය වෙහෙසකර තරඟයක් ලෙස පිලිගැනෙන ‘Tour de France ‘ හත් වරක් ජය ගැනීම යනු ඇදහිය නොහැකි තරමේ ක්‍රියාවකි. ලාන්ස් පාපැදි ක්‍රීඩාව මතු නොව සමස්ත ක්‍රීඩා ලෝකයේම අසමසම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට වැටෙන්නේ එබැවිනි. අවිවාදයෙන්ම ඔහු පාපැදියේ ඩොන් බ්‍රැඩ්මන් ය, පාපැදියේ මොහොමඩ් අලි ය.  ලක්ශ සංඛ්‍යාත දරුවන්ගේ ‘පරමාදර්ශී’ චරිතයක්ද විය. ක්‍රීඩකයෙකු ලෙස පමනක් නොව ‘ලිවින් ස්ට්‍රොන්ග්’ (Livingstrong Foundation) නමින් ඔහු පවත්වාගෙන යන පදනම හරහා පිලිකා රෝග මර්දනයට ලාන්ස් දක්වන දායකත්වය නිසාද මිලියන ගනනක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුල දිදුලන දීප්තිමත් තරුවක් විය .

මෙවැනි දැවැන්තයෙකුගේ හිසට ඉහලින් ඇති කලු පැල්ලම සමස්ත ක්‍රීඩාවේම අඳුරු ඉරනම ප්‍රක්ශේපණය කරයි. ක්‍රීඩාව යනු ‘ජය පරාජය සමසේ භාර ගැනීම, ක්‍රීඩාශීලිත්වය, සාධාරනත්වය වෙනුවට හොඳින් හෝ නරකින් ජය ගැනීම ලෙස ලඝුවී තිබීම කෙතරම් ශෝචනීයද? පාපැදි ක්‍රීඩාවේ මේ තත්වය කෙතරම් බරපතලද යතොත් ලාන්ස් ජයගත් හත් වතාවේම ඔහුට දෙවෙනියන් වූ සියලු දෙනාම සිය ක්‍රීඩා දිවිය තුල තහනම් උත්තෙජක භාවිතා කොට අසුවී තිබීමය.

                                                     Image

ක්‍රීඩකයෙකුට , ක්‍රීඩිකාවකට ලැබිය හැකි ඉහලම ගෞරවය, අභිමානය තම රට, තමන්ගේ ජනතාව අන්තර්ජාතික තලයේදී නියොජනය කිරීම යන්නද ක්‍රමයෙන් යල්පනිමින් පවතී. ඒ වෙනුවට තමන්ගේ බැංකු පොතට වැටෙන මුදල් ප්‍රමානය ඉදිරියට එමින් පවතී. අපේ රටේ බොහෝ දෙනාගේ ආදරයට ලක්වූ ක්‍රීඩාවක් වන ක්‍රිකට්ද අධික වානිජ්‍යකරණය තුල මුදලට යටවී යාමේ අවදානමට ලක් වී ඇත.

K.P. -Black Sheep of English Cricket

මෙහි අලුත්ම සිරස්තල සපයන්නා වී ඇත්තේ එන්ගලන්ත සුපිරි ක්‍රීඩක K.P. හෙවත් කෙවින් පීටර් පීටර්සන් ය. IPL ඇතුලු මුදලට ක්‍රීඩාකරන විස්සයි/විස්ස තරඟාවලි නිසා ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවී යාමේ අවදානම මේ වන විට බොහෝ සේ යතාර්තයක් බවට පත් වී ඇත. ආක්‍රමනශීලී, ප්‍රවේගවත් පිති හරඹය කෙවින්ගේ ආවේනික රටාව වන අතර, විශේශයෙන් පීඩනයක් තුලදී ප්‍රතිවාදී පංඳු යවන්නන්ට එලව එලවා පහරදීමට ඇති හැකියාව ඔහුව විශිශ්ඨත්වයට පත් කර ඇත. ඊට අමතරව ඔහුගේ බොක්සින් ක්‍රීඩකයෙකුට සරිලන ආරෝහ පරිනාහ දේහයද , කඩවසම් පෙනුමද සිය මතය ප්‍රකාශ කිරීමට නොපැකිලෙන ස්වභාවයද කෙවින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ආකර්ශණීය චරිතයක් බවට පත් කර ඇත. පිටිය පුරාවටම පහරවල් ඇති K.P.  අවිවාදිතවම වර්ථමාන එන්ගලන්ත කණ්ඩායමේ අංක එකේ පිතිකරුවාය.

ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව එන්ගලන්ත ක්‍රීඩකාගාරය තුල විශෙෂයෙන්ම නායක ඇන්ඩෘ ස්ට්‍රවුස් සමග පැවති යම් ප්‍රතිවිරොධයන් හා මෑතකදී පැවති ද. අප්‍රිකාව සමග ටෙස්ට් තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කන්ඬායමේ සඟයන් සමග කෙවින් හුවමාරු කරගත් කෙටි පනිවිඩයන්(Text Masseges) තුල සිය නායකයා සම්බන්ඳව විවිද දේ පවසා තිබීමය. එහෙත් ඔහු එන්ගලන්ත ක්‍රිකට් පාලක මංඩලය සමග ප්‍රශ්ණ හදා ගත්තේ IPL තරගාවලිය පවතින සම්පූර්ණ කාලය තුල ඔහුව ජාතික කණ්ඩායමේ රාජකාරී වලින් නිදහස් කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ශේප වීමත් සමගය. මේ අලකලන්චියේ ප්‍රධාන හේතුව IPL යැයි තමන් විශ්වාස කරන බව එන්ගලන්ත පුහුණුකරන/කලමනාකරන කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) මාධ්‍යයට ප්‍රකාශ කලේය. ඒ අනුව පසුගිය T20 ලෝක කුසලානයේ, තරඟවලියේ වීරයා සම්මානය ලබමින් එන්ගලන්තයට ශූරතාවය දිනා දුන් K.P.ගේ දස්කම් දැකීමේ වරම මෙවර ලංකාවේ පවත්වන T20 ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩාලෝලීන්ට අහිමි වනු ඇත.

බටහිර ඉන්දීය සුපිරි පිතිකරු ක්‍රිස් ගෙල්ද මේ හේතුව නිසාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියට වසරක පමණ කාලයක් අහිමිවිය.  අපේ අංක එකේ පංඳු යවන්නා වන ලසිත් මාලිංගද මේ පාරෙම යාවිදැයි දැනටමත් සැක සංකා පහල වී ඇත.  මේ ගඳගහන සමාජාර්ථික මොඩලය තුල ක්‍රීඩකයන් ජාතික සම්පත් බවට පත්වෙනවා වෙනුවට, සමාගම් මුදලාලිලා අත නැටවෙන රිලා පෝතකයන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

                                                  Image

The Dirtiest Race in the History

ඔලිම්පික් මීටර් 100 ධාවන තරඟය යනු වැඩිම ක්‍රීඩා ලොලීන් පිරිසක් පිටියට කැඳවන වැඩිම ප්‍රේක්ශකයන් ප්‍රමානයක් TV තිර ඉදිරියට ගෙන්වන ආකර්ශණීයම ධාවන තරගය යැයි කීවොත් නිවැරදිය.  1988 සෝල් (Seoul) ඔලිම්පික් උලෙලේදී මෙහි තීව්‍රතාවය තවත් වැඩිවූයේ වරි වර ලෝක වාර්තාවට හිමිකම් කී ක්‍රීඩකයන් තිදෙනෙකු සහිතව සුපිරි කෙටි දුර ධාවන තරු පංතියක්ම සහභාගිවීමය. මෙයිනුත් වඩාත්ම ආකර්ශනීය යුගලය වූයේ එවකට මළල ක්‍රීඩාවේ ‘මයිකල් ජැක්සන්’ ලෙස හැදින්වූ ඔලිම්පික් කිරුලටද හිමිකම් කිවූ සුපිරි ඇමරිකානු ක්‍රීඩක කාල් ලුවිස් හා ඔහුගේ නොම්මර එකේ ප්‍රතිවාදියා හා එවකට ලෝක වාර්තාවේ හිමිකරු වූ කැනඩාවේ බෙන් ජොන්සන්ය.  ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස නම් ලැබූ මෙය නිමා වූයේ බෙන් ජොන්සන් ලෝක වාර්තාවක්ද සමගින් විශ්වයේ වේගවත්ම මිනිසා ලෙස කිරුලු පැලදීමෙන්ය.

එහෙත් එම කිරුලට දීර්ඝායුශ නොතිබි අතර එය පැවතියේ පැය 55ක් වැනි කෙටි කාලයකි. ජොන්සන් තහනම් උත්තේජක භාවිතා කල බවට ඔප්පු වූ අතර ඔහු ක්‍රීඩාවේ දුෂ්ටයෙකු ලෙස පරිබව ලැබීය.  බොහෝ දුරට මළල ක්‍රීඩා කවය තුලට සීමාවී තිබූ මේ මාතෘකාව, ප්‍රසිද්ධ මාතෘකාවක් වන්නේ ඉහත සිද්දියත් සමගය. එහෙත් බෙන් ජොන්සන් දුෂ්ටයා කොට නිමාවූ නාටකයේ වීරයන්ගේ පැටිකිරිය හෙලිවන්නේ පසු කාලීනවය. තරගයේ දෙවෙනියාවූ කාල් ලුවිස් ද තෙවෙනියාවූ බ්‍රිතාන්‍යයේ ලින්ෆඩ් ක්‍රිස්ටි ද ඇතුලුව තරග වැදි 8දෙනාගෙන් 6දෙනෙකුම තනම් උත්තෙජක සම්බඳ වැරදි වලට හසුවිය. බ්‍රසීලයේ රොබ්සන් ඩා සිල්වා හා ඇමරිකාවේ කැල්වින් ස්මිත් කිසිදින චෝදනාවකට ලක් නොවූ ක්‍රීඩකයන් දෙදෙනාය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස එදා හැදින්වූ මේ තරගය අද හඳුන්වන්නේ ඉතිහාසයේ අපවිත්‍රම ධාවන තරගය ලෙසය. තරගයෙන් අනතුරුව සිදුකල තහනම් උත්තේජක සදහා කරන මුත්‍රා සාම්පල් පරීක්ශනය සම්බන්දයෙන් මතුවන අතුරු කතාවන්ද මෙය තවදුරටත් කිලිටි කිරීමට හේතු විය.

                  Image

මෙය තමාව කොටු කර ලීමට කාල් ලුවිස් ගේ ඇමරිකානු කඳවුර කල කුමන්ත්‍රණයක් බව බෙන් ජොන්සන් පවසනවා. තමන් වසර ගනනාවක් තිස්සේ ස්ටෙරොයිඩ් භාවිතා කල බව ජොන්සන් පිලිගන්නා නමුත් ඔහු එතෙක් කිසි දිනක හසු නොවී තිබීම මෙන්ම ඔලිම්පික් තරගයේ මුත්‍රා සාම්පල වල තිබි හසුවන්නේ ඔහු පාවිච්චි කල උත්තෙජකය නොව වෙනත් ස්ටෙරොයිඩයක් වීමද ඔහුගේ කතාවට අවදානය යොමු වීමට හේතු විය. බෙන්ට අනුව මුත්‍රා සාම්පල් ලබා ගන්නා මධ්‍යස්තානය තුල ඔහු ලඟින් ඉඳගෙන සිටි අභිරහස් පුද්ගලයෙකු විසින් තමා පානය කල බීමට මෙය එකතු කල බවයි. පසු කලෙක කාල් ලුවිස් ගේ එවක කළමනාකරු ජෝ ඩග්ලස්, බෙන් පවසන අභිරහස් පුද්ගලයා තමන් විසින් යෙදවූවෙක් බව පිලිගන්නා නමුදු ඔහුට පැවරී තිබුනේ බෙන් ජොන්සන් සිය තහනම් උත්තෙජකය වසන් කිරීමට හැකි යමක් පානය කරනවාදැයි ඔත්තු බැලීමට බව පවසයි. එසේම මෙම පුද්ගලයාව, විශේෂ ආරක්ශාවක් සහිත ඇන්ටි ඩොපින් මද්‍යස්තානයට ඇතුල් කිරීමට තමන් පොඩි ගැටයක් ගැසූ බවද පවසයි(I played some games). මේ අභිරහස් පුද්ගලයාව පත්තර වාර්තාකරුවෙක පසු කලෙක හෙලිදරව් කරගන්නා අතර,ඔහු  ඇන්ගෝලාවේ ප්‍රභල දියමන්ති ව්‍යාපාරිකයෙක් වන ඇන්ඩ්‍රේ ජැක්සන් වෙයි. ඔහු ජොන්සන්ගේ පානයට යමක් එකතුකලාදැයි අසන ප්‍රශ්නයට,……… ‘සැබවින්ම, මට කිවහැකියි මම එසේ නොකල බව එසේම මම කලබවද කිව හැකියි…ඒත් කුමක්ද එයින් දැන් ඇති ඵලය’ ලෙස පිලිතුරු දෙයි.  

මේ චෝදනා ප්‍රතිචෝදනා කුමක් වුවද අවසානයේ පරාජය වී ඇත්තේ ක්‍රීඩාව මිස පුද්ගලයන් නොවේ. කීර්තිය අහිමි වී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. විශ්වසනීයත්වය බිඳී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. දුෂ්ටයා බෙන් ජොන්සන්, K.P.  හෝ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් නොව සියලු ශුද්ධවූ දේ කිලිටි කරමින් යන මේ දුර්දාන්ථ සමාජ ආර්තික ක්‍රමයයි. නිර්මානය වී ඇත්තේ ඕනෑම තක්කඩි කමක් කර දිනීමට, තමන්ව නිර්මානය කල රටට ඉහලින් ඩොලර් මිටි තැබීමට සූදානම් ක්‍රීඩා ලෝකයක් නැතිනම් තරගයක් දෙකක් පාවාදී කීයක් හරි හොයා ගන්නට සූදානම් ක්‍රීඩා ලෝකයක්ය. දූෂන ,අසාදාරනකම් ක්‍රීඩාවේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිරීමින් පවතී. වසර ගනනාවක් පවත්ගෙන එන නීති, රීති, ආචාරධර්ම සියල්ල , මුදල් ඉදිරියේ බිඳ වැටෙමින් තිබේ. මෑතකදී පැවති විම්බල්ඩන් තරගාවලියේ දස්කම්, ශ්‍රේනිගත කිරීම් නොතකා වඩා ආකර්ශනීය, වානිජ්‍ය වටිනාකමින් වැඩි ටෙනිස් ක්‍රීඩිකාවන්ට ප්‍රමුක ටෙනිස් පිටි ලබා දුන් බවට වූ චොදනා වලින් කියවෙන්නේ එයය.

අන් ක්ෂෙත්‍ර වල මෙන්ම ක්‍රීඩාව තුලද ප්‍රමාදර්ශි චරිත වඳවී ගොසින්ය. එහෙත් අද ලෝකයට අත්‍යාවශ්‍යව ඇත්තේද් ඔවුන්ය. මීට දශක හතරකට පමන පෙර “කියුබානුවන් මිලියන 8කගේ ආදරය ඉදිරියේ ඩොලර් මිලියනයක් යනු කුමක්ද” යි, පවසා ඩොලර් මිලියන 5ක කොන්ත්‍රාත්තුව ඉවතලූ ප්‍රතිපත්ති ගරුක තියොෆිලො ස්ටීවන්සන් (Teofilo Stevenson) වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අගය අද දවසේ එදාටත් වඩා වටින්නේ එබැවිනි.

විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය.  කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ෆෙල්ප්ස්ගේ පිහිනුම් රන් 8(2008 බීජින්), ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ගේ ලෝක වාර්තා තුනක් සමග රන් පදක්කම් 3(2008 බීජින්)වැනි සුමිහිරි මතකයන් බොහෝය. එසේම ලොවම කම්පා කල, ඊශ්‍රායල් ක්‍රීඩකයන්/නිලදාරීන් 11ක් මරුමුවට පත්වූ 1972 මියුනික් ප්‍රාණ ඇපකරු ඛේදවාචකය. ලොව පුරා පුවත් පිටු පිරවූ කැනඩාවේ බෙන් ජොන්සන්ට වේගවත්ම මිනිසා කිරුල අහිමි කල තහනම් උත්තේජක චෝදනාව(1988 සෝල්) වැනි ඔලිම්පික් කලු පැල්ලම්ද මේ මතක අතර වෙයි.

එහෙත් 1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට ටොමි ස්මිත් හා ජෝන් කාලෝස් විසින් දැක්වූ “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) ඔලිම්පික් වංශකතාව තුල මෙතෙක් ප්‍රක්ශේපනය කල අතිශය ප්‍රභලතම පිලිබිඹුව බව අවිවාදිතය.

පතුලටම යනතුරු වර්ගවාදයේ ගිලී සිටි ‘සුදු’ ඇමරිකාව සසල කල මේ සිදු වීම , සුදු බටහිර ආධිපත්‍යට නතුව තිබූ ඔලිම්පික් සංස්තාවේ පදනම්ද දෙදරවා හැරියේය. ටොමී එම ඔලිම්පික් උළලේ මීටර් 200 ලෝක වාර්ථාවක්ද තබමින් ජය ගත් අතර කාලොස් එම තරඟයේ ලෝකඩ පදක්කම් ලාභියා විය.Image

“මම සිටියේ ‘ලෝක වේදිකාව’ මත….මානව ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව ක්‍රියාවට නගමින්……මිනිස්සු ගෙව්වේ පසුගාමී ජීවිත…එක්සත් මතවාදයක අවශ්‍යතාව…ඔවුන් තේරුම් අරන් තිබ්බෙ නැහැ”  ටොමී ස්මිත් පසු කලෙක පැවසීය.

ඔහු සහ කාලෝස් සුප්‍රකට ඔලිම්පික් වේදිකාව මත සිට තේරුම්ගන්නට බල  කලේ අනෙකක් නොව ‘කලු ඇමරිකාවේ’ වේදනාවයි. බැලූ බැල්මට සරල අභිනයක් සේ දිස්වුනු ඔවුන්ගේ කැරලිකාරී ක්‍රියාව තුල, ඇත්තටම සංකීර්ණ සංඛේත ජාලයක් විය. ටොමීගේ ඉහලට එසවූ ‘කලු අත්වැස්ම’ සහිත දකුණු අත කලු ශක්තිය නිරූපණය කල අතර කාලෝස්ගේ කලු අත්වැස්ම සහිත ඉහලට එසවූ වම් අත කලු එක්සත්භාවය සංඛේතවත් කලේය. ටොමීගේ කලු කර පලදනාව කලු අභිමානයද,දෙදෙනාම පාවහන් රහිතව කලු මේස් පමනක් පැලඳ සිටීමෙන් කලු ඇමරිකාවේ දුප්පත් බවද සංඛේතවත් කලේය.

මේ තරඟයේ රිදී පදක්කම් ලාභියා වූ සුදු ජාතික ඕස්ට්‍රෙලියානුවෙකු වූ පීටර් නොර්මන්ද සිය කලු සඟයන් දෙදෙනාගේ ක්‍රියාවට සහෝදරාත්මක සහයෝගය දක්වමින් ‘මානව හිමිකම් සඳහා ඔලිම්පික් ව්‍යාපාරයේ’ (Olympic Project for Human Rights) ලාංචනයක්(Badge) සිය කමිසයේ පැළද සිටියේය. ටොමීගේ හා කාලෝස් ගේ අහිංසාවාදී කැරැල්ල ක්ශනික හෝ අහඹු සිදුවීමක් නුවූ අතර ‘මානව හිමිකම් සදහා ඔලිම්පික් ව්‍යාපාරය’ (OPHR) සමග ඔවුන්ගේ තිබුනු සම්බන්ඳය මෙන්ම කාලෝස් හා එකල ප්‍රකට ‘කලු’ ක්‍රියාධරයෙක් වූ හා  ඝාතනයට ලක්වූ මැල්කම් එක්ස් (Malcolm X)  අතර සිදුවූ හමුවීමද තීරනාත්මකව බලපෑවේය. එවකට තිබුනු ලෝක දේශපාලනික සංදර්භයද යම් උත්තෙජකයක් වූවා නිසැකය. කලු සටනේ පතාක යෝධයෙකු වූ මාටින් ලූතර් කිං ඝාතනය වී මාස 6ක්වත් ගත වී නොතිබින. අධිරාජ්‍යවාදීන් දන ගැස්සූ වියට්නාම් ගරිල්ලං එල්ල කල සුප්‍රකට ටෙට් ප්‍රහාරය(Tet Offensive) මෙන්ම ප්‍රංශ සිසු නැගිටීමද සිදු වූයේ මේ වකවානුවෙදීමය. ඔලිම්පික් පැවැති මෙක්සිකො නගරයේදීම නිරායුද සිසුන් සිය ගනනක් මරා දමා තවත් දහස් ගනනක් අත් අඩංඟුවට ගත් මිලේච්ඡ සිසු සන්හාරය (Tlatelolco Massacre)සිදුවී  ගතවී තිබුනේ හරියටම සති දෙකකි. Black Power Salute ලොව පුරා පුවත් සිරස්තල සැරසුවා පමනක් නොව පසුගිය සිය වසේ ප්‍රබලතම පෝස්ටර් ඡායාරූප 10 අතරටද එකතුවිය.

OPHR යනු අහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වූ අතර ක්‍රීඩාව තුල වූ වර්ගවාදය මානව හිමිකම් න්‍යාය පත්‍රය තුලට ගෙන ඒමේ මහගු කාර්යයක් එදා ඉටු කලේය. ටොමී හා කාලෝස් දෙදෙනාම OPHRහි උපන් බිම වූ සැන් ජොසේ විශ්ව විද්‍යාලයේ සිසුන් විය. කලු ක්‍රීඩකයන් මෙක්සිකෝ ඔලිම්පික් උලෙල වර්ජනය කල යුතුයි යන්න OPHRහි මුල් මතවාදය වුවද එය ක්‍රියාත්මක නොවීය.  එහෙත් එදා පදක්කම් වේදිකාව මත සිට, පසු බිමින් ඇමරිකන් ජාතික ගීය වැයෙද්දී, හිස් පහතට නමා දෑස් බිමට නැඹුරු කොට කලු අත්වැසුම් සහිත මිට මෙලවූ සිය අත් මෙක්සිකානු රාත්‍රී අහසට යොමු කර ඔවුන් සිදු කල නිහඬ කැරැල්ල සුදු අධිරාජ්‍යයේ අරටුව දක්වාම සසල කලේය. එසේම එය, ඇමරිකාණු පාලකයන්ගේ කුහක වර්ගවාදී ප්‍රතිපත්තීන් නිර්ධය ලෙස ලොවට හෙලිදරව් කිරීමට සමත් විය.

එතෙක් සුපිරි සුදු ඇමරිකන් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ කලු ක්‍රීඩකයන් විදේශයන්හිදී ලබා ගන්නා ජයග්‍රහන හා ගෙනෙන පදක්කම් පමනක් වූ අතර මව් බිමේදී ඔවුන් නිකම්ම නිකම් ‘වේගවත් කල්ලන්’ (Fast Niggers) පමනක්ම විය. OPHRහි ඔලිම්පික් වර්ජනය පිලිබඳ කතිකාව ගොඩ නැගෙන සමයේ ඔවුන්ගේ මන්ත්‍රය වී තිබුනේ ‘උපන් බිමේදී බඩ ගාන්නට මෙක්සිකොවේ දුවන්නේ කුමකටද’ (Why run in Mexico only to crawl at home) යන්නයි.

දිළිඳු අඳ ගොවියෙකුගේ පුතෙකු වූ ටොමී ස්මිත්ද එවැනිම දුප්පත් පසුබිමක් සහිතවූ ජෝන් කාලෝස්ද ළමා කාලයේ සිටම මේ උග්‍ර වර්ගවාදයෙන් ඇතිතරම් බැට කෑවේය.එබැවින් සිය කැරැල්ලට එරෙහිව සුදු ඇමරිකාවෙන් නැගෙන කෝපග්නියේ දිග පලල ගැන ඔවුන්ට වැටහීමක් තිබුනි.  එහෙත් ඔවුන්ට මුහුන දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තරමේ දුෂ්ඨ ප්‍රහාරයන්ටය.

එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති, ඇමරිකානුවෙක්වූ Avery Brundage විසින් ටොමී හා කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් එලවා දැමීමට නියෝග කලේය. ඔහුගේ නියෝගය කෙතරම් කැත කුහක ක්‍රියාවක්ද යන්න මනාව පැහැදිලි වන්නේ 1936 බර්ලින් ඔලිම්පික් උලෙලේ හිට්ලර්ගේ ‘නාසි ආචාරය’ (Nazi Salute) සඳහා ඇමරිකානු කන්ඬායමේ සහය ලබා දුන්නේ එවකට එක්සත් ජනපද ඔලිම්පික් කොමිසමේ සභාපති ලෙස මේ පුද්ගලයාම බැවින්ය. එසේම මෙක්සිකනු රජය පැය 48ක් තුල ඔවුන්ගේ වීසා අවලංඟු කොට රටින්ද පිටුවහල් කලේය.

ඔවුන් සිය රට පා තබන්නේ අප්‍රමාන ගැරහුම් පරිබව පමනක් නොව තමන්ව රැකියාවෙන්ද දොට්ට දමා ඇති බව දන්වන ආරංචියද සමගය. ඔවුන් කලු ජාතිකයන් අතර වීරයන් සේ ආදරයට ලක්වූයේ කෙතරම්ද ඊටත් වඩා වැඩියෙන් සුද්දන්ගේ වෛරයට බාජනය විය. ඉතිහාසයේ පළමු වරට තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 දිවූ මිනිසා වූ ටොමී ස්මිත්ට (ඔහුගේ නිසග හැකියාව මත ටොමී තත්පර 19 කඩ ඉමද බිදිනු ඇති බව එකල මතය වී තිබින )සිය දරුවාගේ බඩගිනි නිවීමට පාර අතුගාන්නට සිදු විය. ටොමීගේ මව අකාලයේ මිය ගිය අතර ඔවුන්ගේ පවුලට පැමිනි අතවර, ගැරහුම් ,තර්ජන ගර්ජන සිය මවගේ අකාල වියෝවට වගකිවයුතු බව ටොමී අදටද චෝදනා කරයි.  කාලොස්ටද අඩු නැතුව දුක් විදින්නට සිදු වූ අතර ඔහුගේ පවුල් ජීවිතය බිඳ දැමීමට ඇමරිකන් ෆෙඩරල් ඔත්තු සේවය (FBI) සෑහෙන් කාර්ය භාරයක් ඉටු කල බව කාලෝස් විශ්වාස කරයි. අවසානයේදී ඔහුගේ බිරිඳ සිය දිවි නසා ගන්නා අතර ටොමීගේ විවාහය දික් කසාදයකින් කෙලවර වෙයි. දෙදෙනාටම හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ අතර මරණය නිරන්තරවම ඔවුන් පසු පස හොල්මං කලේය.

එදා ඔලිම්පික් වේදිකාව මත මේ මිනිසුන් දෙදෙනා දැක්වූ නිර්බීතභාවය කලු සමාජය මත දැවැන්ත බලපෑමක් කලේය. එසේම පසු කාලීනව OPHR හි බොහෝ ඉල්ලීම් දිනා ගැනීම සඳහාද ඔවුන්ගේ ක්‍රියාව ප්‍රබල උත්ප්‍රේරකයක් විය.  කලු ඇමරිකානු නිදහස් සටන එදා මෙදා තුර බොහෝ ජයග්‍රහන අත් පත් කර ගනිමින් ඉදිරියට පැමින ඇත. එහෙත් සිහින සැබෑ වී නැත. ඔවුන්ගෙන් බහුතරයක් අන්ත දිලින්දන්ය, නූගතුන්ය. ආර්තිකය ගත්තද, අධ්‍යාපනය ගත්තද, සෞඛ්‍ය පහසුකම් ගත්තද, නිවාස හිමිකම් ගත්තද ඔවුන් තවමත් දෙවෙනි පංතියේ පුරවැසියන්ය. නීතිය ඉදිරියේද දෙවැනි පංතියේය.

මීට මාස කීපයකට පෙර සිදු වූ ‘ට්‍රෙවොන් මාටින්’ (Trayvon Martin) ඝාතනය කදිම උදාහරනයකි. කඩයට ගොස් රස කැවිලි රැගෙන ගෙදර යමින් සිටි වයස 17 කලු ජාතික දරුවා කිසිදු සාදාරණ හේතුවක් නැතිව අමු අමුවේ ඝාතනය කරන ජොර්ජ් සිමර්මන්ව පොලීසිය අඩු තරමේ අත් අඩංඟුවටවත් නොගනී.  ආත්මාරක්ශාවට වෙඩි තැබුවා යන ප්‍රකාශය මත චෝදනාවක්වත් නොනගා නිදහස් කරයි. කලු ජාතිකයන්ට සිය දරුවාගේ ඝාතකයාව අඩු තරමින් අත් අඩංඟුවට ගෙන චෝදනා ඉදිරිපත් කරවා ගැනීමට දවස් ගනන් පාරවල් වල උද්ඝෝශණ කරන්නට සිදු විය. මෙහි අනෙක් පැත්ත සිදු වූවානම් පොලීසියේ හා නීතිය ක්‍රියාවට නගන්නන්ගේ කාර්යක්ශමතාවය ඇදහිය නොහැකි තරම්ය.

ඉදින් මේ තවමත් නිමා නොවූ සටනේ ප්‍රභල මං සළකුනක් ලෙස ටොමී හා කාලෝස්ගේ ‘Black Power Salute’ කැරැල්ල සටහන් වන අතරම ඔලිම්පික් වංශකථාවේද කාලයේ වැලිතලාවට කිසිදින යට නොවන ලෙස සදාතනික වී ඇත.

 “ I still feel the old impulsus and compulsions…………….. To stand up and be heard ..no matter the cost no matter the price”   

                                                                                                                –            John Carlos  July 2012

                                                    Image