Archive for June, 2012

ඇමරිකාවේ ලාස් වේගාස් යනු ලෝකයේ සූදු පිටිය යයි පැවසීම වඩාත් නිවැරදිය. ඇති පදම් සුරාවද, දිව්‍ය කම් සැපද අඩුනැති , දැල්වෙන නිවෙන නියොන් ආලෝකයෙන් විචිත්‍රවත් මිහි බට සුරපුර සදිසි දිස්වෙන, ලෝකයේ දල කාරයන් රාත්‍රියකට ඩොලර් මිලියන 16 ක් වීසි කරනා සූදු පොල මෙයය. ඒත් මේ ලිපියේ ප්‍රස්තුතය එම දිලිසෙන මායා ලෝකය නොව ඊට යටින් ඇති යථා ලෝකයය. හරියටම කියනවානම් ලාස් වේගාස් නගරයේ පොලව යටින් දිවෙන කුනු කාණු පද්ධතිය තුල ජීවත්වන දහස් ගනනක් ඇමරිකානු දිලින්ඳන්ය.  රැකියා අහිමිවූවන්, නිවාස අහිමිවූවන්, කුඩ්ඩන්, බේබද්දන්ද මේ කානු තුල මීයන්ද සමග සහ ජීවනයෙන් දිවි ගෙවති.  සිය හිසට ඉහිලින් ලෝකයේ, කැසිනෝ හල් තුල ඩොලර් ලක්ෂ ගනනින් ලංසු තැබෙද්දී, විස්කි වඩියට ,මොහොතක කම්සැපයට, ඩොලර් මිටි පිටින් වීසි කරද්දී මොවුන් දරු පැටවුන්ද සමගින් හාමතේ නිදියති.

මෙය ලාස් වේගාස් වලට සීමාවූවක් නොව තවත් බොහෝ ඇමරිකන් නගරවල කානු තුලද පවතින තත්වයකි. එහෙත් ලාස් වේගාස් උදාහරණය යනු, අතිශය සුලුතරයක් අතට මුදල් රැස් වෙද්දී හා ඔවුන් ලෝක ආර්තිකය හා සූදු කෙලිද්දී සාතිශය බහුතරයක් දිනෙන් දින දිලින්දන් බවට පත්කරන මේ ඊනියා නියෝ ලිබරල් ක්‍රමයේ කදීම පිලිඹිබුවයි. ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ වූ ඇමරිකන් නිරුවතයි. උතුරු කොරියාවේ බඩගිනිකාරයන් ගැන සිංහල බ්ලොග් තුල උදේ හවා කෙඳිරි ගාන මොල සෝදන්නන් හා සෝදන්නියන්ගේ හෙලුවයි.

පසුගිය අවුරුදු 15 තුල ඇමරිකාවේ දුප්පත්කමේ රේඛාවෙන් පහල සිටින ජන සංක්‍යාව දෙගුනයක් වී ඇත. ලක්ශ 462ක් ඇමරිකානුවන් දිලින්දන්ගේ වර්ග කිරීමට වැටේ.  එය අපේ රටේ සමස්ත ජනගහනය මෙන් දෙගුනයකටත් වැඩිය. සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙක් දිලිඳු දරුවෙකි. මිලියන 13 රැකියා විරහිතයන්ය. ලක්ෂ 500කට නො එසේනම් සෑම ඇමරිකානුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට සෞඛ්‍ය රක්ශනාවරනයක් නැත, වෙනත් විදිහකට කියනවානම් ලෙඩකට දුකකට පිහිටක් නැත.   ඇමේසන් වනාශ්‍රිතව සිටින නොදියුනු වෛද්‍ය පහසුකම් නොමැති ජනයා වෙනුවෙන් Stan Brock විසින් ආරම්බ කල නොමිලේ පවත්වන වෛද්‍ය සායන (Remote Area Medical ‘RAM’) දැන් පවත්වන්නේ ඇමේසන් වල නොව ඇමරිකන් නගර වලය. අද නොමිලේ සායන වැඩියෙන් අවශ්‍ය වී ඇත්තේ ඇමේසන් වනයට නොව නව ලිබරල් ආර්තිකයේ රන් දෙවොල වන ඇමරිකාවටය. උදෑසන ආරම්භවන මේ සායන වලට සියගනනින් ගැහැනුන්,මිනිසුන් සිය දරුවන් සමග කටුක සීතලේ පෝලිම් ගැහෙන්නේ පාන්දර එකේ , දෙකේ සිටය. මේවායේ දොස්තරලාට බොහෝ විට හමුවන්නේ බේතක් ,හේතක් ගන්නට මුදල් නැති කමින් වසර ගනන් ලෙඩ රෝග වලින් පෙලෙමින් දුක් විඳින මිනිසුන්ය, ගැහැනුන්ය.

පාසැල් යන දරුවන්ගෙන් ලක්ෂ 15ක් නිවාස අහිමි දරුවන්ය. ඔවුන් කානු තුල, කූඩාරම් තුල හෝ තුට්ටු දෙකේ ගුබ්බෑයම් වල ජීවත් වන්නෝය. වයස 25ට අඩු තරුන උපාදිධාරීන්ගෙන් (College Graduates) භාගයකට ආසන්න ප්‍රමානයක් එක්කෝ විරැකියාවෙන් හෝ ඌනරැකියාවෙන් පෙලෙයි. පවුල් ලක්ශ 64කට සිය දෛනික ආහාර සුරක්ශිතභාවය ගැන ගැටලු ඇත. මෙවැනි සංඛ්‍ය, දත්ත වල ලැයිස්තුව ඉතා දිගු එකකි. එහෙත් අර්බුදයට ගොස් ඇති නව ලිබරල් ධනවාදයේ වපසරිය මැන ගැනීමට ඔය ටික හොදටම ප්‍රමානවත්ය.

මෙහි ඇති සැබෑ ඛේදවාචකය නම් දිනපතා සීග්‍රයෙන් දුප්පත්කම පැතිරෙන්නේ රටේ ඉහලම ධනපතියන් සුලුතරය වඩ වඩා පොහොසත් වෙද්දී වීමය. වසරින් වසර, සතියෙන් සතිය, පැයෙන් පැය, සෑම මොහොතක් පාසාම ඇති නැති පරතරය එන්න එන්නම පුලුල්වෙයි.  1975 ඇමරිකාවේ ඉහලම ආදායම් ලබන සියයට 1ට සමස්ත ආදායමෙන් 8.9% අයිති විය, වසර 33කට පසුව 2008 ඔවුන් සමස්ත ආදායමෙන් පහෙන් එකකටත් වඩා දැවැන්ත කොටසක් එනම් 21% අත් පත් කර ගනී. තවදුරටත් විස්තර කරනවානම් ඉහලම ආදායම් ලබන සියයට එකකගේ වත්කම පහල අදායම් ලබන 90% ජනතාවගේ මුලු වත්කම් ප්‍රමානයට වඩා වැඩිය. ඇමරිකාවේ ධනවත්ම 400දෙනාගේ වත්කම පහල ඇමරිකානුවන් මිලියන 150කගේ සමස්ත වත්කම් එකතුවට වඩා වැඩිය. වොල්මාර්ට් සමාගමේ හිමිකරුවන් 6දෙනාගේ වත්කම ඇමරිකාවේ පහල ආදායම් ලබන ජනගහනයෙන් 30% ගේ මුලු වත්කම් එකතුවට වඩා වැඩිය. ඇදහිය නොහැකි දැවැන්ත ආදායම් බෙදීයාමේ විශමතාවයේ දිග පලල සිතා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.

ඇමරිකන් දක්ෂිනාන්ශික රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙය ඔබාමාගේ නොහැකියාවට ලඝු කිරීමට දැඟලුවද ඇත්තවශයෙන්ම මෙය ක්‍රමයේ තාර්කික ඵලයක් බව යුරෝපයේද ලොව අන් තැන්හිද තතු විමසීමෙන් ප්‍රත්‍යක්ශ වෙයි. ස්පාන්ඥයේද, ග්‍රීසියේද තරුණ විරැකියාව 50%ක් තරම් වේ. බොහෝ යුරෝපා සංගමයේ රට වල දුප්පත්කම අහස උසට නැග ඇත. යුරෝපා රාජ්‍යයන් පුරා අගනගර වල වර්ජන විරෝධතා වීදි සටන් සුලබ දසුන්ය. එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ මීට මාස කීපයකට පෙර ජාත්වාදී මුහුනුවරක්ද සහිතව සති කීපයක් පුරා පැතිර ගිය කැරලිකාරීත්වයද මේ ආර්ථික බිඳ වැටීමේ අසහනය පුපුරා ගිය අවස්තාවකි. පහල ස්තරයේ අසහනය මේ ලෙස වර්ධනය වන්නේ එන්ගලන්තයේ ලොකුම ධනවතුන් 1000 දෙනාගේ වත්කම වසරක් තුලදී පවුම් බිලියන 20 කින් වැඩි වෙද්දීය.

මෙසේ ඇමරිකන් වැඩ කරන ජනතාව වල පල්ලට යද්දී, දැවැන්ත සමාගම් අති විශාල ලාබ ලබමින් සිටී. ඇමරිකන් සමාගම් වල බදු ගෙවීමෙන් අනතුරුව ලාභය ඉතිහාසයේ ඉහලම අගය ලබාගෙන ඇත. මේ ලාභය ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරද්දී එයට ප්‍රතිපක්ශව ශ්‍රමයට ගෙවන වැටුප් ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ පහලම අගය වාර්තා කරයි.  ලෝක ආර්ථිකයේ පාලනය බහුජාතික සමාගම් ජාලයක් අතට පත් කල, ශ්‍රමයට ඉහලින් ප්‍රාග්ධනය ස්තානගත කල නියො ලිබරල් ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇති විශමතාවය විස්තර කල හැකි හොඳම වාක්‍ය ඉහත වාක්‍යය බව මගේ හැඟීමයි.

සිය ලාභය මිසක අන් කිසිවක් නොතකන මේ කෑදර සමාගම් ජාලය ජනතාව ණය උගුලේ කර වටක් ගිලී සිටියදී මුදල් මත පිහිනමින් සිටී.  මිලියන ගනනින් මිනිසුන් විරැකියාවෙන් පෙලෙද්දී, තවත් ලක්ශ ගනනින් රැකියා අහිමි වෙද්දී සිය ලාභ ප්‍රති ආයෝජනය කර රැකියා අවස්තා පුලුල් කරනු වෙනුවට මේ දැවැන්ත සමාගම් අනාගත්යේ වැඩි වැඩියෙන් ලාභ ලබනු පිනිස අති විශාල අතිරික්ත මුදල් ප්‍රමානයක් මත ඉදගෙන සිටියි. ‘ඇපල්’ සමාගම ඩොලර් බිලියන දහයකට වඩා මේසේ සිය තැන්පතු වල පවත් වාගෙන යයි. ‘BP’ සමාගමට පවුම් බිලියන 15.8 මුදල් අතිරික්තයක් ඇත.BAE Systems සිය සේවකයන් 22,000ක් දොට්ට දාන්නේ පවුම් බිලියන 2.1ක මුදල් අතිරික්තයක් සිය ශේෂ පත්‍රයේ සටහන් වෙද්දීය.

ඇමරිකාවේ, එන්ගලන්තයේ හෝ යුරෝපයේ මතු නොව ඉන්දියාවේද, ලංකාවේද, සෝමාලියාවේද වෙනසක් නැතිවම මේ ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇත්තේ ඇදහිය නොහැකි විශමතාවයකි. වෙනසකට ඇත්තේ අපේ වැනි පරිධියේ රටවල පවතින්නේ දේශපාලුවන්ගේ බලපෑමෙන් වඩාත් විකෘති වූ නව ලිබරල් ධනවාදයක් වීමය. ක්‍රමයේ විශමතාවයට අමතරව මහා පරිමාන දූෂනය, වංචාව, ඉහවහා ගිය නාස්තිය,පැතිරුන ඥාති සංග්‍රහය සහිත දුගඳ හමන සමාජ ආර්තිකය එම විකෘතීන්ගේ ප්‍රතිපලයයි.

සංඛ්‍යා ලේකන මෙන්ම බහුතරයකගේ ඇඟට දැනෙන අග ගිඟකම් කියාපාන්නේ ලෝකයට දැන් අවශ්‍ය මේ නව ලිබරල් දහදුරාව පවත්වාගෙන යාමට යොදන පැලැස්තර විසදුම් නොව පැහැදිලිවම සුසමාදර්ශ වෙනසක් (Paradigm Shift) බවයි. නො එසේ නම් ලාබ අලාබ ගිනුමක පහල තීරුව වෙනුවට මනුශ්ෂත්වය මත පදනම් වුනු සමාජ ආර්තික ක්‍රමයක් බවයි.